Tuesday, May 31, 2016

ෆේස් බුක් ඇතුළේ ෆේක් වුණු ජීවිත

---මම කථා කරමි ---

මනූෂි සිල්වා (දිනමිණ)



ජීවිතය රඟහලකි. අපි එහි රඟන නළුවෝ වෙමු'. මෙහෙම කිව්වේ ශේක්ෂ්පියර්. හැබැයි ශේක්ෂ්පියර් මහත්තයා දැන් කාලේ ජීවත්වෙලා හිටියා නම්, මොනවා හිතයිද ? . 

ෆේස් බුක් රඟහලකි; අපි එහි රඟදෙන නළුවෝ වෙමු' කියලා කියනවාට නම් සැකයක් නෑ. 

ෆේස්බුකිය ඒ තරමට ම දැන් කවුරු කවුරුත් රඟ දෙන, මගේ නොවන ෆ්‍රොෆයිල් මොහොතකට මගේ වෙන, සිරියාවතීලා ප්‍රින්සස් ශ්‍රියා වන, සිරිපාල මැක්ස් සිරී වෙන යහළු,යෙහෙළියන් ෆැමිලි මෙම්බර්ස් හි අම්මලා, තාත්තලා, සීයලා, ආත්තම්මලා වෙන, සත්‍ය මවුපියන් බ්ලොක් වෙන අපූරු රඟහලකි.

ෆේස් බුක් නිර්මාණය කරද්දී මාර්ක් සකර්බර්ග් අයියාටවත් නොහිතෙන්න ඇති බුකිය අපේ ජීවිතේ මේ තරම් වැදගත් ඉඩක් ගනියි කියලා.


පෙම්වතියක්, පෙම්වතාගේ උපන්දිනයට 'අයි ලව් යූ ඩාලිං! හැපි බර්ත්ඩේ' කියලා පෝස්ටුවක් දානවා. 

මේක දකින හැට හුට හමාරක් විතර කට්ටිය ඉතිං නිකං තියෙන ලයික් බොත්තම ඔබනවා. එහෙම නැත්නම් බුරුතු පිටින් කොමෙන්ට් කරනවා.

ඇත්තට ම මේක ඒ දෙදෙනාට අදාළ පෞද්ගලික කාරණාවක්. 

ඒත් කෙල්ල පාර මැද ලවුඩ්ස්පීකර් එකක් අල්ලං කොල්ලාට සුබ පතනවා වගේ, බුකියේ තමන් ජීවිතේට දැකලවත් නැති ෆ්‍රෙන්ඩ්ස්ලා යන සත්ත්ව කොට්ඨාසයට පේන්න ප්‍රසිද්ධ පෝස්ටුවක් දානවා.

එහෙමත් නැත්නම් කෙල්ලෙක්ගෙන් පතරංග බූට් එකක් කාපු අව්‍යාජ, පරම, පිවිතුරු, නිකැළැල් ප්‍රේමයක් පූජා කළ රෝමාන්තිකයෙක් 'ඔයා මාව දාලා ගියාට ඊළඟ ආත්මෙදීවත් මගේ වෙන්න. 

ජාති, ජාතිත් ඔබ මගේ' ෆීලින්ග් හාට් බ්‍රෝකන්' කියලා නාහෙන් අඬාගෙන, හො‍ටු පෙරාගෙන ස්ටේටස් එකකින් විලාප දෙනවා.

මේක දකින බුකියේ 'දුක්ගන්නාරාළලා 'මචං, කෙල්ලො ඔහොම තමයි', 'එක මාළුව ද මුහුදෙ ඉන්නෙ?' ආදී සැනසිලි වදන් මතුරමින් ප්‍රේමයෙන් පරාජිත ඒ 'ඛේදජනක' අත්දැකීමට මුහුණ දුන් ප්‍රේමවන්තයාගේ හිත සනසනවා.

සමහර විට ඇත්තටම මේ කතාව කෙල්ලගේ මූණට කියන්න යනවා තියා අඩුම තරමේ එහෙම දෙයක් හිතන්නවත් මේ කොල්ලාට ගනක් නැතුව ඇති. 

ඒත් බුකිය ඇතුළේ කොල්ලා ප්‍රේමය නමැති පූජාසනයේ උත්තරීතර ප්‍රේමය නමැති පුෂ්පය පුද කළ මහා විරුවෙක්.

ඒ අතරෙ බුකියෙ ඉන්නවා 'අවධානෙ මට ඕනේ', 'හිතෙන් නළුවා', 'හිතෙන් නිළිය' රෝගයෙන් පෙළෙන තවත් කට්ටියක්. 

කාටවත් කරදරයක් නැති මෙයාලාගේ මහත් වෑයම රජ වීමට නොව, බස් එකේ, හන්දියේ ජිම් එකේ, නිදන කාමරේ, කුස්සියේ, එහෙමත් නැත්නම් වැසිකිළියේ හරි එල්ලලා තියෙන කණ්ණාඩියක් ඉස්සරහට වෙලා, සෙල්‍ෆියක් අරගෙන , ෆේස් බුක් අප්ලෝඩ් කරලා, ඒකට වැටෙන ලයික්,කොමෙන්ට් ගණන් කර කර ඉන්න එක. 

දවසකට සෙල්ෆි හතරක්, පහක්වත් බුකියට එකතු මේ පිරිස ෆොටෝෂොප් එඩිට් සරණං ගච්ඡාමි ගාථාව තමයි දවස තිස්සෙම කියන්නේ. 

කළු හම සුදු කරන, සුදු හම සුදෝ සුදු කරන, ළප කැළැල් අතුරුදන් කරන, මහත ඇඟ කෙට්ටු කරන, කෙට්ටු ඇඟ මහත් කරන මේ අපූරු ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් පිහිටෙන් බොහෝ දෙනෙක් බුකියේ මිස්ටර් ශ්‍රී ලංකා, මිස් හෝ මිසිස් ශ්‍රී ලංකා වෙනවා.

බලාගෙන ගියාම බුකිය කියන්නේ මම නොවන මම යන චරිතය ස්ථාපිත වෙන පුදුමාකාර තැනක්. 

මෙතැනදී බොහෝ දෙනෙක් අපි හදාගත්තු අමුතුම වෙස්මූණු ඇඳගෙන තමයි බුකියේ ජීවිතය ගෙනියන්නේ.

මේ ඊයේ පෙරේදා 'අම්මාවරුන්ගේ දිනය' කට්ටිය මහ උජාරුවෙන් සැමරුවානේ. 

එදා නම් අම්මලාම බෙදාගෙන, ඉඹගෙන, ෆොටෝ දාස් ගාණක් සයිබර් අවකාශයට එකතු වුණා. 

'අයි ලව් යූ අම්මී', 'අම්මි, යූ ආ මයි වර්ල්ඩ්' වගේ ආදරණීය වදන්වලින් අම්මාට ආමන්ත්‍රණය කරපු අය, පොළොවේ වැලි කැට ගණනටත් වැඩියි. 

ඒ ගැන හරි සුන්දර කාටූන් චිත්‍රයක් මම දැක්කා. 

දුවයි, පුතායි, 'මම ආදරෙයි අම්මේ' කියලා ෆේස් බුක් එකේ පෝස්ට් දානවා. 

කාමර දෙකක එයාලට ම වෙන්වුණ පරිගණක දෙකක තිර දිහා හරිම ඕනෑකමින් බලාගෙන. 

ඒ අතරේ ඒ ගැන හාංකවිසියක්වත් නොදන්න වැහැරුණු,මහලු,දුප්පත් අම්මා, දරුවෝ දෙන්නට කන්න දෙන්න කෑම උයනවා දැලි වළං ගොඩක් මැද.

ඇත්තටම ඒ කාටූන් චිත්‍රය වචනයෙන් කියන්න බැරි හැඟීම් කෝටියක් විතර මොහොතකින් මුදා හරිනවා.

සත්‍ය ජීවිතයෙත් මේ විදිහට චැඩ කරන, කරපු අය කී දෙනෙක් නම් ඇත්ද? ෆේස් බුක් අපි පාවිච්චි කරන්නේ අතත්‍ය ලෝකෙ අපි නිර්මාණය කරගෙන ඉන්න 'මම' කියන චරිතය ප්‍රවර්ධනය කරගෙන ලකුණු දා ගන්නද?

කියන්න කනගා‍ටුයි. සහෝදරවරුනි, කතාව බොහෝ දුරට ඇත්ත. සත්‍ය වෙනුවට බොරු මවාපෑමක් කරලා අපි ඒ දිහා බලාගෙන අහිංසක වින්දනයක් ලබනවා.

මට ඒ අතරේ අතුල අධිකාරි ගායනා කළ , 'ඊමේල් කවිකාරි' ගීතයේ පද මාලාවත්, රූප රචනාවත් ඉබේම මතකයට එනවා. 


චැට් රූම් එකකින් දැන හඳුනගෙන, ප්‍රේමයක පැටලෙන තරුණයෙක් සහ තරුණියක් ගැනයි මේ කියන්නේ. 

දෙදෙනාම, දෙදෙනාම නොදැක ඒ ආදරය සෑහෙන කාලයක් ගලාගෙන යනවා.

'පෙනේ දෘශ්‍ය මායාවක සේයා
වෙබ් පි‍ටුවේ
රහස් අකුරු සංඥා
සියැසින්ම විඳ ගන්නේ
කවදා ද නුඹ එන්නේ'

එහෙත් අවසානයේදී දෙදෙනාම හමු වූ විටයි දැන ගන්නේ, මෙතුවක් කල් පෙම් කරලා තියෙන්නේ එක ම කාර්යාලයේ ප්‍රධානියකු හා එහි සේවකයකු බව.

මේ කතාව මේ විදිහට නොවුණත් වෙනස් විධිවලින් අපි කී දෙනෙක් නම් අත්දැකලා ඇතිද? කොපමණ නම් ප්‍රශ්නවල පැටලිලා ඇතිද? හැඟීම් එක්ක කොපමණ නම් සෙල්ලම් කරලා ඇත්ද?

ඇයි ඉතිං අපි ඔරිජිනල් වෙන්නෙ නැත්තෙ? ෆේක් වුණ අපේම තිර පිටපත් ඇතුළේ අපි හිරවෙලා, අසරණ වෙලා.

ඒ වුණාට ඇත්ත කතාව තමයි,

හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත්, කිසියම් වෙලාවක වෙස් ගැළවෙන වෙලාවක් එනවා. යටින් තියෙන ඇත්ත මූණ හෙළි වෙන එක ඕනම මොහොතක වෙන්න පුළුවන්. ඔබ කවුද කියා නොකීවාට දන්නෝ එය දනී.

No comments:

Post a Comment